19
2012
ඉඩමක් මිලදී ගැනීමේදී පිරිසිදු ඉඩමක් වශයෙන් සලකා බලන්නේ කවර වර්ගයේ ඉඩමක්ද ?
ඉඩමක් මිලට ගැනීමේදී එය ආරවුල් වලින් තොර පිරිසිදු ඉඩමක් මිලට ගැනීමට කවුරුත් උත්සහ දරයි.ඉතින් කොහොමද හොඳ ඉඩමක් තෝරාගන්නේ?පහත දැක්වෙන
නිර්නායකයන් මත ඔබ මිලට ගන්නා ඉඩම පිරිසිදු ඉඩමක්ද යන්න පිලිබඳ දළ අවබෝධයක් ලබාගත හැක.මෙය අංග සම්පුර්ණ විස්තරයක් නොවේ.
1.ඉඩමේ ස්වභාවය:
ඉඩම් වල ස්වභාවය ගත්විට රජයේ ඉඩම්,සින්නක්කර ඉඩම් වශයෙන් වර්ග කිහිපයකි.රජයේ ඉඩම් යනු රජයට අයත් ඉඩම් වේ.රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් නොමැති ජනතාවට ස්වර්ණභූමි,ජයභූමි,රන්බිම වැනි කොන්දේසි සහගත ඔප්පු මත භුක්තිය පමණක් ලබාදේ.සාමාන්‍යයෙන් රජයේ ඉඩමක් විකිණිය නොහැකි අතර ලේ උරුමය ඇති ඥාතීන් අතර පමණක් පැවරීම සිදු කරයි.කෙසේ නමුත් මෙවැනි ඉඩමක් පැවරීම සහ මුදලකට හුවමාරු කරගැනීමට අවසර දිය හැකි බලධරයා වන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වේ.රජයේ ඉඩමක් මිලට ගැනීමට සුදුසු ඉඩමක් වශයෙන් කිව නොහැක.නමුත් ඉඩම පිහිටි පළාතේ ප්‍රාදේශීය ලේකම් වරයා එකී රජයේ ඉඩම පවරාගැනීමට ලිඛිත අවසරය ලබා දෙන්නේ නම් එය නොතාරිස් ඔප්පුවක් මගින් පවරා ගැනීම වරදක් නොවේ.ප්‍රාදේශීය ලේකම් වරයාගේ ලිඛිත අවසරය නොමැතිව රජයේ ඉඩමක් මිලට ගැනීම තුලින් නීතියනුකුල භාවයක් ගැනුම්කරුට නොලැබේ.
සාමාන්‍යයෙන් මිලදී ගැනීමට වඩා සුදුසු ඉඩම් වන්නේ සිනනක්කර ඉඩම් හෙවත් පෞද්ගලික ඉඩම් වේ.ඉඩමක් රජයේ ඉඩමක්ද ,එසේත් නැතහොත් එය සිනනක්කර ඉඩමක්ද යන්න තෝරාගැනීමට ඉඩමට අදාල ඔප්පු ,ප්ලැන් සහ ඉඩම් ලියාපදිංචිකිරීමේ කාර්යාලයේ පත්ඉරු පරීක්ෂාකිරීමෙන් කිවහැක.ඊට අමතරව රජයේ ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ සහ ඉඩම පිහිටි ප්‍රදේශයේ ගම නිලධාරිවරයාගෙන් තොරතුරු ලබාගත හැක.මේ අනුව ඉඩමක් මිලදී ගැනීමේදී සිනනක්කර ඉඩමක් මිලට ගැනීම වඩා සුදුසු වේ.
2.සින්නක්කර ඉඩමේ ස්වභාවය :
සිනක්කර ඉඩම් වර්ග දෙකකි. එනම් බෙදු ඉඩම් සහ නොබෙදූ ඉඩම් වේ.ඉඩමක් කිසියම් අවස්ථාවක අයිතිකරුට හිමි ඔප්පුවෙන් ඔහුට ලැබී ඇත්තේ නොබෙදූ අයිතියක් නම් එම අයිතිය පිරිසිදු අයිතියක් නොවේ.එයට හේතුව එකී ඉඩම හවුල් අයිතිකරුවන් අතර බෙදා වෙනකොට නැත.එවැනි අවස්ථාවක එකී නොබෙදූ අයිතිය මිලට ගතහොත් මිලටගත් පුද්ගලයාට කවර අවස්ථාවක හෝ ඉඩම බෙදාගැනීමට බෙදුම් නඩුවකට යාමට සිදුවේ.නෙබෙදු ඉඩමකට බැංකු ණයක් ලබාගැනීමට නොහැක.
ඉඩමක් බෙදා වෙන්කරගැනීමට බෙදුම් පනත යටතේ ආකාර දෙකක් ඇත .එනම් සියලු හවුල් අයිතිකරුවන් තමන් දැනට භුක්ති විඳින ආකාරයට ප්ලෑන් එකක්මගින් බෙදා ගෙන බෙදුම් ඔප්පුවක් සකස්කරගැනීම එක ආකාරයකි.නමුත් එක හවුල් අය්තිකරුවෙක් හෝ එසේ බෙදාගැනීමට විරුද්ධ වන්නේ නම් එම ක්‍රමය අනුගමනය කළ නොහැක.එවැනි අවස්ථාවක දිසා අධිකරණයේදී බෙදුම් නඩුවක් පවරා බෙදාගැනීමට සිදුවේ.බෙදුම් නඩුවක් මගින් බෙදා ගැනීම දෙවන ක්‍රමයයි.
මේ අනුව ඉඩමක් මිලට ගැනීමේදී ඉහත කි ආකාර දෙක මත බෙදා වෙන්කළ ඉඩම් කොටසක් මිලට ගැනීම වඩා සුදුසු වේ.නමුත් ඇතැම් අවස්ථාවල කිසියම් ඉඩමක් එකී ඉඩමේ නමින් එය කුඩා ඉඩමක් විය හැක.එය එක් පුද්ගලයෙකුට හිමිනම් එවැනි ඉඩමක් මිලදී ගැනීමේදී බෙදා වෙන්කර ඇද්ද නැද්ද යන්න සොයා බැලිය යුතු නැත.මන්ද එකී ඉඩම තනි පුද්ගලයෙකුට අයිති බැවිනි.
3.අයිතිය ගලා ආ ආකාරය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත් ඉරුවලින් පැහැදිලිව නිරුපනය විය යුතුය:-
අවම වශයෙන් වසර විසිපහකවත් අතීතයට ඉඩමේ අයිතිය ගලා ආකාරය පැහැදිලිවිය යුතුයි. එනම් A ගෙන් Bට ,B ගෙන් Cට ආදී වශයෙන් අයිතිය ඛණ්ඩනය නොවී අයිතිය ගලා ආ යුතුය.ඉඩම් කාර්යාලයේ පත් ඉරු එකිනෙක සම්බන්ධව ඉඩම සම්බන්ධයෙන් සිදුව ඇති පැවරීම් වලට අදාල ඔප්පු සම්බන්ධ විස්තර සටහන්ව තිබිය යුතු අතර අවසාන අයිතිකරුට නිසි අයතිය ලැබී තිබිය යුතුය.කිසියම් අවස්ථාවක ඉඩමේ හිමිකරු දේපල නොපවරා මියගොස් ඇති අවස්ථාවක සාමාන්‍ය නීතිය යටතේ උරුමය ලැබී ඇති ආකාරය සොයා බැලිය යුතුය.
4.ඉඩමට අදාල ප්ලැන්වල මුල්පිටපත් තිබිය යුතු අතර ඉඩම කොටස්වලට කඩ ඇති අවස්ථාවක එක් එක් ප්ලැන් වල සම්බන්ධතාවය ගැන සැලකිලිමත් විය යුතුය.එසේම ඉඩමට ලිය ඇති ඔප්පුවල සහතික කළ පිටපත් සහ පත් ඉරු ,බෙදුම් නඩුවේ අවසාන තීන්දුව ආදිය ලබාගත් යුතුය.
5.මිලදී ගන්නා ඉඩම සම්බන්ධයෙන් බෙදුම් නඩුවක්,ඉඩම් නඩුවක් හෝ ඒ සම්බන්ධ කිසිදු නඩුවක් කිසිදු අධිකරණයක විභාග වෙමින් නොපවතිය යුතුය.
5.ඉඩම කිසියම් ඇපයකට,ණයඋකස්කරවලින් හෝ වෙනත් ගිවිසුම් වලින් නිදහස්ව තිබිය යුතුය.
6.ඉඩමේ වටිනාකම ඉහළ අගයක් ගන්නේ නම් ඉඩම මිලට ගන්නේ පත් ඉරු පරීක්ෂාවෙන් පසු දිනයක නම් එකී ඉඩම මිලට ගන්නා බවට පුරවතා දැන්වීමක් ඉඩම් කාර්යාලයට භාර දිය යුතු අතර එකී ඉඩම සම්බන්ධයෙන් අත්තිකාරම් මුදලක් ලබා දෙන්නේ නම් විකිනීමට එකඟ වීමේ ගිවිසුමක් ඉඩම් කාර්යාලයේ ලියා පදිංචි කළ යුතුය.
6.ඉඩම් සම්බන්ධයෙන් වන සෑම් ගනුදෙනුවක්ම නොතාරිස්වරයෙකු ඉදිරියේ වූ ඔප්පුවකින් කළ යුතු වීමද,ඉඩම මිලටගත් සත්‍ය මුදල ඔප්පුවේ වටිනාකම ලෙස ඇතුලත් කිරීමද වැදගත්වේ.
7.එසේම ඉඩම් මිලට ගැනීමට පෙර අදාල පළාත් පාලන ආයතනයේ නොපවරාගැනීමේ සහ විතිරේඛ සහතිකයද ලබා ගැනීමද වටිනාකම ඉහල අගයක් ඇති ඉඩමක් මිලට ගැනීමේදී වැදගත්වේ.
8.එසේම ඉඩම මිලට ගැනීමට පෙර ඉඩම විකිණුම් කරු ලවා නැවත මන බැලිය යුතු අතර එම අවස්ථාවේම ඉඩමේ මායිම් ඔස්සේ කම්බි කණු සිටුවා වටකොට ගැනීම අනාගතයේ ඇති විය හැකි ඉඩම් නඩුවලින් නිදහස් වීමට මග පාදයි.
9.ඉඩම මිලට ගත් දිනයේම ඉඩමේ භුක්තිය භාරගත යුතු අතර ,විකිණුම්කරු හෝ ඔහුගේ නියෝජිතයෙකු ඉඩම තුල රඳවා ගැනීමෙන් ඔබට ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ.
Read more »19
2012
ඔබ විසින් පැවරූ ඇටර්නි බලය අවලංගු කරන්නේ කෙසේද??
විවිධ අවශ්‍යතා සඳහා ඔබට ඔබ වෙනුවෙන් කටයුතු කිරීමට ,දේපල පරිපාලනය කිරීමට ,එසේත් නැතිනම් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට,ලියකියවිලිවලට අත්සන්කිරීමට,බැංකු ගිණුම් පවත්වාගෙන යාමට,දේපලක් විකිණීමට හෝ ඔබ වෙනුවෙන් කිසියම් කටයුත්තක් කිරීමට,වෙනත් පුද්ගලයෙකුට ලිඛිතව පැවරීම ඇටෝර්නි බලයපැවරීම යන්නෙන් අදහස් වේ.ලංකාවේ ඇටෝර්නි බලය පිලිබඳ නීතිය 1920 අංක;4 දරන ඇටෝර්නි බලපත්‍ර පිලිබඳ ආඥා පනත යටතේ පාලනය වේ.එකී පනත 1913 අංක ;09, 1939 අංක;33 සහ 1978 අංක;23 දරන සංශෝධිත පනත් යටතේ මුල්පනත සංශෝධනයට ලක්වී ඇත.
ඉහත කි ආකාරයට ඇටෝර්නි බලපත්‍රයක් අකස්කළයුත්තේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහිතව නොතාරිස්වරයෙකු, හෝ නියෝජ්‍ය රෙජිස්ටර්වරයෙකු, මහේස්ත්‍රාත් වරයෙකු,මහකොමසාරිස් වරයෙකු හෝ තානාපති වරයෙකු ඉදිරියේ ඇටර්නි බලය පවරන්නා එකී ලේඛනයට අත්සන්කිරිමෙනි.ඇටර්නි බලපත්‍ර විශේෂ ඇටර්නි බලපත්‍ර ,සාමාන්‍ය ඇටෝර්නි බලපත්‍ර වශයෙන් ආකාර දෙකකි.විශේෂ ඇටෝර්නි බලපත්‍රය කිසියම් විශේෂ කටයුත්තකට අදාලව සකස්කරන ලේඛනයකි.සාමාන්‍ය ඇටෝර්නි බලපත්‍රය බලය ලබාදෙන්නා වෙනුවෙන් ඕනෑම කාර්යක් කිරීමට අදාලව සකස් කරන ලේඛනයකි.
ඇටර්නි බලපත්‍රයක් සකස්කිරීමේදී පහත සඳහන් කරුණු වැදගත් වේ.
(අ ).විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් ඇටර්නි බලපත්‍රයක් සකස්කරන්නේ නම් විදේශ ගත වීමට පෙර මෙරටදී සකස් කිරීමෙන් ඒ සඳහා ගතවන කාලය සහ මුදල් ඉතිරි වේ .
(ආ).කිසියම් විශේෂ කාර්යක් කිරීමට පමණක් කිරීමට ඇටෝර්නි බලපත්‍රයක් සකස්කිරිමට අවශ්‍ය නම් එකී විශේෂ කාර්යට පමණක් ඇටෝර්නි බලය සිමා කිරීමෙන් පසුකාලීනව ඇතිවියහැකි අනවශ්‍ය ගැටළු වලින් මිදීමට හැක.උදාහරණයක් වශයෙන් හමන් විදේශ ගතව සිටිනා කලසිමවතුල ලංකාවේ අධිකරණයක සිවිල් නඩු කටයුත්තකට තමා වෙනුවන් පෙනී සිටීමට නම් එකී කරණයට පමණක් ඇටෝර්නි බලපත්‍රය සිමා කරන්න.
(ඇ).තමාට ඉතාම විස්වාසවන්ත තැනැත්තාට ඒ බලය ලබාදෙන්න.
(ඈ).එකී ඇටර්නි බලය ලබාදුන් කාර්ය අවසන් නම් හෝ තමන්ට එකී කාර්යන්ට නිරතවීමට හැකිනම් වහාම ඇටර්නි බලපත්‍රය අවලංගු කරන්න.
(ඉ).ඇටර්නි බලපත්‍රය රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ නිසිපරිදි ලියාපදිංචි වී ඇද්ද,අවලංගු කල අවස්ථාවක නිසිපරිදී ලේඛනවල සටහන් වී ඇද්ද යන්න පරික්ෂ කර බලන්නං
(ඊ).ලිසිං පහසුකම් සහිත වාහනයක් ඇටර්නි බලපත්‍රයක් මගින් කිසිවිටකත් මිලට නොගන්න.එය නීතියනුකුල නොවේ.වාහනයේ නීතියනුකුල අයිතිය ඒ මගින් හිමි නොවේ.
(උ).විදේශයක සිටින අයෙකුගේ කාර්යයක් ලංකාවේ අයෙකු ලවා කරවා ගැනීමට ඇටර්නි බලපත්‍රයක් සකස් කරගැනීමට අවශ්‍ය වූ විට එකී ඇටර්නි බලපත්‍රය අත්සන් කල යුත්තේ ඒ රටේ සිටින ලංකාවේ තානාපති ,කොන්සල්වරයෙකු,එරට නොතාරිස්වරයෙකු වන නීතිඥ වරයෙකු ඉදිරියේය.එය මෙරටට එවා මසක් ඇතුලත රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ ලියා පදිංචි කළ යුතුය.
(ඌ).ඇටෝර්නි බලපත්‍රය අවලංගු කිරීම.
ඇටර්නි බලපත්‍රයක් ලිය පදිංචි වු පසු එකී ඇටර්නි බලපත්‍රයේ බලය ලබාදුන් තැනැත්තාට හෝ බලය ලැබූ තැනැත්තාට යන පාර්ශවයන් දෙකටම එය ඕනෑම අවස්ථාවක අවලංගු කළ හැක.ඒ සඳහා එකී ඇටර්නි බලය අවලංගු කරන බවට සිංහල,දෙමල සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පුවත්පත් දැන්වීමක්ද,රජයේ ගැසට් පත්‍රයේ දැන්වීමක්ද පලකොට එකී දැන්වීම්ද , ඇටර්නි බලපත්‍රයේ මුල්පිටපත සහ දිවුරුම් ප්‍රකාශයක් රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයා වෙත භාර දීමෙන් අවලංගු කළ හැක.එසේ අවලංගු බවට රෙජිස්ට්‍රාර් ජනරාල් වරයා අදාල පත ඉරුවේ සටහන් කරන තුරු ඇටර්නි බලපත්‍රයෙන් දී ඇති බලය ඇටර්නි බලකරු/බලය ලාභී මියයන තෙක් වලංගුව පවතී .
Read more »15
2012
මංකොල්ලකාර බෑනා බේරාගැනීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාදීමට තැත්කළ කත රක්ෂිත බන්ධනාගාරයට ………..

ඌරගස්මන්හන්දිය පොලිස් බලප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි මංකොල්ලකරුවන් දෙදෙනෙකු කාන්තාවකගේ රත්රන් මාලයක් වර්ෂ 2012 පෙබරවාරි මස 13 වන දින මංකොල්ල කෑ අතර එම අවස්ථාවේම එකී මංකොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඌරගස්මන්හන්දිය පොලිසිය සමත් විය.
එසේ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස්කර දෙන ලෙස ඉල්ලා කාන්තාවක් විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂයක මුදලක අල්ලසක් ලබා දිමට තැත්කළ අවස්ථාවේ රුපියල් ලක්ෂය සමග එකී කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.එසේ අත්අඩංගුවට පත්වුයේ එදිරිමුණි කරුණාවතී නමැති හතලිස් පස්හැවිරිදි කාන්තාවකි.
ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එකී කාන්තාව බී වාර්තාවක් මගින් ඇල්පිටිය ගරු මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.සැකකාරියට එරෙහිව ඉදිරිපත් කළ චෝදනාව වුයේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 159 වන වගන්තිය යටතේය. මේ සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ නඩු පැවරීමට අවශ්‍ය උපදෙස් අල්ලස් කොමසාරිස් වරයාගෙන් ලබා ගන්නා ලෙස පොලිසියට ගරු මහේස්ත්‍රාත්තුමා විසින් තව දුරටත් නියෝග කරන ලදී.
12
2012
අවුරුදු 77 වයසැති කාන්තාවක් 22 හැවිරිදි තරුණයෙකු විසින් දුෂණය කරයි…..
පසුගිය පෙබරවාරි මස 9 වන දින සවස 2.00 ට පමණ ඌරගස්මන්හන්දිය පොලිස් බලප්‍රදේශයට අයත් මොරගොඩ නමැති ගමෙහි නිවසකට පැමිණි තරුණයෙකු නිවසේ සිටී කාන්තාවකගෙන් වතුර වීදුරුවක් ඉල්ලා සිටි අතර, වතුර වීදුරුව ගෙන ඒමට නිවසේ මුළුතැන් ගෙට යාමට සුදානම් වූ මහළු කාන්තාව නිවසේ කමරයක් තුලට ඇදගෙන ගිය තරුණයා කාමරය තුලදී එකී කාන්තාව ඉතා කෘරතර ලෙස දුෂණය කොට පලාගොස් ඇත.එම අවස්ථාවේ නිවසේ අවුරුදු 77 ක් පමණ වූ මහළු කාන්තාව පමණක් සිටි අතර ඇය විශ්‍රාමික මැහුම් ගුරුවරියක් සේම මවකද විය.මෙම අපරාධයට සම්බන්ධ තරුණයා වයස අවුරු 22 වන යුද්ධ හමුදාවෙන් පලාගිය සෙබලෙකු බවට තොරතුරු ලැබී ඇත.
සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති ග්‍රේෂන් සිල්වා මහතා 10 වන දින සවස වන විට එකී සිද්ධියට සම්බන්ධ තරුණයා අත්අඩංගුවට ගැනීමට සමත් විය.මෙම අපරාධයට සම්බන්ධ තරුණයා බාහිරින් කිසිදු මානසික රෝගී තතත්වයක් දිස්නොවන අතර මෙම තරුණය මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවට යොමුවූයේ ඇයිද? යන්න පිලිබඳ දැනට පරීක්ෂණ පවත්වා ගෙන යයි.දුෂණයට ලක්වූ කාන්තාව ඌරගස්මන්හන්දිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බළපිටිය මුලික රෝහලට මාරු කරයව ඇත.සැකකරු අදදින පෙබරවාරි 12 දින ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර ඌරගස්මන්හන්දිය පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි .
Read more »11
2012
බළපිටිය මහාධිකරණයේදී සුමදුර ධර්ම දේශනයක් …………
පසුගිය පෙබරවාරි මස 8 වනදින සවස බළපිටිය මහාධිකරණ ශාලාවේදී සුමදුර ධර්ම දේශනයක් දකුණු පළාත්බද මහාධිකරණ විනිසුරු අයිශානි ජයසේන මැතිනියගේ උපදේශකත්වයෙන් පැවැත්විය.මෙම අවස්ථාවට බළපිටිය මහේස්ත්‍රාත්සහ දිසා විනිසුරුතුමන්ලාද,නීතිඥ මහත්ම මහත්මින්ද සහභාගී විය.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සහ ජිවිතයේ ඇති අනිත්‍ය පිලිබඳ ඉතා ගැඹුරින් විග්‍රහ කළ ධර්මදේශකයානන් වහන්සේ ’අධිකරණය’ යන පාලි භාෂාවෙන් සිංහල භාෂාවට එකතු වූ වචනය පිළිබඳවද විග්‍රහයක්ද කරන ලදී. බළපිටිය අධිකරණ භුමිය බෞද්ධ කොඩිවලින් සරසා අධිකරණ ශාලාව තුල කුඩා විහාර ගෙයක් නිර්මාණය කොට තිබීමද කැපී පෙනුනි.
මහාධිකර විනිසුරු අයිශානි ජයසේන මහත්මිය මහේස්ත්‍රාත් වරියක වශයෙන් අධිකරණ සේවයට එක්වූ අතර මහාධිකරණ විනිසුරු වරියක වශයෙන්
බළපිටිය මහාධිකරණයට පැමිණියේ පසුගිය වසරේය.ඇයගේ සේවා කාලය තවත් සැහෙන කාලයක් කිරීමට කාල සිමාව තිබුනද මෙම වර්ෂයේ අප්‍රියල් මස සිට විනිසුරුතුමියගේ ඉල්ලීම මත විශ්‍රාම යාමට නියමිතව ඇති අතර විනිසුරුතුමියගේ ඉදිරි ජීවිත කාලය ආගමනුකුල කටයුතුවල යෙදෙනු ඇති බවට නීති ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරයි.
Read more »
Recent Comments
- sandya Geethani on ව්‍යාජ චෝදනා මව/පියා වෙත එල්ලකොට දරුවාගේ භාරකාරීත්වය ලබාගත හැකිද?….
- සන්ධ්‍යා on මිනීමැරීමේ අධිචෝදනාවෙන් චුදිතයන් නිදොස්කොට නිදහස් කිරීමට ජුරිය තීන්දු කරයි ………
- සන්ධ්‍යා on කෞතුකාගාරයෙහි පුරා වස්තු සොරුන්ට කුමක් වේද ?
- සන්ධ්‍යා on 2011 වර්ෂයේ සම්මත කළ නව පනත් සහ සංශෝධිත පනත්
- සන්ධ්‍යා on අධිකරණයට නොගොස් දික්කසාදයක් ලබාගත හැකිද?




An article by

![89[1] 89[1]](http://lawpage.lk/wp-content/uploads/2012/02/8911.jpg)
![89[1]](http://lawpage.lk/wp-content/uploads/2012/02/8911-199x300.jpg)





